2009 පටන් ගල් අඟුරු මිලදී ගැනීම් ගැන විමර්ශනය කරන්න ජනාධිපති අනුර පුර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන බව කිව්වා.අනුර මේ හදන්නේ ජනාධිපති බලතල පාව්ච්චි කරලා හොරකම යට ගහන්න.අනුර ගල් අඟුරු හොරකමට විරුද්ධ නම් කරන්න තියෙන්නේ 2026 ගල් අඟුරු මිලදී ගැනීමේදී වෙලා තියන අක්‍රමිකතා සම්බන්ධ ලබාදීලා තියන විගණන වාර්තාවට අදාලව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා නීතිපතිට යවන එකයි.
ඊට අමතරව අවශ්‍ය නම් 2009 පටන් ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධ හොයන්න ජනාධිපති කොමිෂමක් පත් කරන්න පුළුවන්.අනුර සහ මාලිමා ආණ්ඩුව මොනවා කලත් එයාලා ජනතා අධිකරණය ඉස්සරහා දාන් වැරදිකාරයෝ වෙලා ඉවරයි. දැන් තියෙන්නේ ජනතා අධිකරණයෙන් දඩුවම් නියම කරන්න විතරයි.ඒකත් ළඟදීම සිද්ධ වේයි.අද රටේ රාළ කතා කරන්නේ ඒ ගැන නෙවෙයි පහුගිය ලිපියකදී රටේ රාළ ඔයාලට පොරොන්දුව උනා ජනාධිපති කොමිෂන් ගැන කතා කරමු කියලා.
ශ්‍රී ලංකාවේ නීතිය අනුව "ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා" පිහිටුවීම සහ ඒවායේ බලතල ක්‍රියාත්මක වීම ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ 1948 අංක 17 දරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත (Commissions of Inquiry Act) මත පදනම් වෙලා. ජනාධිපති කොමිසමක් සහ පූර්ණ බලැති (Special Presidential Commission) කොමිසමක් අතර තියන ප්‍රධාන වෙනස්කම් කීපයක් තියනවා.
නීතිමය පදනම (Legal Basis) - සාමාන්‍ය ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවනු ලබන්නේ 1948 අංක 17 දරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත ප්‍රකාරවයි.පොදු වැදගත්කමක් ඇති කාරණයක්,රාජ්‍ය නිලධාරියෙකුගේ විෂමාචාරයක්, ආයතනයක පරිපාලන දෝෂයක් වගේ දේවල් හොයන්න මේ කොමිසන් සභා භාවිතා කරනවා.
පූර්ණ බලැති (විශේෂ) ජනාධිපති කොමිසමක් ස්ථාපිත කරන්නේ 1978 අංක 7 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත (Special Presidential Commissions of Inquiry Act) යටතේයි. මේ කොමිෂමේ අරමුණ වෙන්නේ වඩාත් බරපතල ගණයේ දූෂණ,බලය අභියෝගයට ලක් කිරීම්,රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමයි.
මේ ඕනෑම කොමිෂන් සභාවක් පිහිටුවීමේදී ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් පහත කරුණු ප්‍රකාශ කරන්න ඕනි.කොමිසම පිහිටුවීමට හේතු උන කරුණු (Terms of Reference) මොනවද?කොමිසමේ සාමාජිකයන්ගේ නම් (සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචනාධිකරණ විනිසුරුවරුන්).
කොමිෂන් වාර්තාව ඉදිරිපත් කළ යුතු කාලසීමාව.1948 පනත යටතේ පත් කරන කොමිසන්වලට සෘජුව දඬුවම් පැමිණවීමේ හැකියාව නෑ.ඒ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නම් ඒ කොමිෂන් වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කරලා සාමාන්‍ය අධිකරණ පද්ධතිය හරහා නඩු පවරන්න ඕනි.
1978 පනත යටතේ ස්ථාපිත පූර්ණ බලැති කොමිසමක් මගින් යම් පුද්ගලයෙකු වැරදිකරුවෙකු ලෙස නම් කළොත්,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 වැනි වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් ඒ පුද්ගලයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න (Civic Disability) සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නං මන්ත්‍රී අසුන අහිමි කරන්න ප්‍රතිපාදන තියනවා.
ජනාධිපති කොමිෂන් සභා වාර්තාවක් නිකුත් උනාට පස්සේ වාර්තාවේ අඩංගු නිර්දේශ පරිපාලනමය වශයෙන් ක්‍රියාත්මක කිරීමට අදාළ අමාත්‍යාංශ මගින් විශේෂ චක්‍රලේඛ නිකුත් කරනවා. උදාහරණයක් විදිහට ප්‍රසම්පාදන ක්‍රියාවලියක දෝෂයක් කොමිසමකින් පෙන්වා දෙනවා නම් භාණ්ඩාගාරය මගින් අලුත් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ (Procurement Guidelines) චක්‍රලේඛ මගින් නිකුත් කරන්න ඕනි.
සාමාන්‍ය කොමිසමක් ප්‍රධාන වශයෙන් කරුණු සොයා බැලීමේ (Fact-finding) යාන්ත්‍රණයක් වන අතර,පූර්ණ බලැති විශේෂ කොමිසමක් දේශපාලන හෝ පරිපාලනමය වශයෙන් දැඩි තීන්දු (Punitive measures) ගැනීමට මග පාදන අධිකරණමය ස්වරූපයක් ගන්නවා.
මෙම කොමිෂන් සභා දෙකේ ප්‍රධානතම වෙනස තියෙන්නේ දඬුවම් දීමේ හැකියාව මත නෙවෙයි.ඒ දඬුවම් ක්‍රියාත්මක වන ක්‍රමවේදය මතය.කෙටියෙන් කියනවා නම් කොමිසමකට සෘජුවම පුද්ගලයෙකු සිරගත කිරීමට හෝ දඩ ගැසීමට බෑ. හැබැයි "පූර්ණ බලැති" කොමිසමකට පුද්ගලයෙකුගේ දේශපාලන ජීවිතය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමේ නීතිමය බලය තියනවා.
සාමාන්‍ය ජනාධිපති කොමිසමකට (1948 පනත) ඇත්තේ නිර්දේශ කිරීමේ බලය විතරයි.සිද්ධියක් ගැන සොයා බලා,වගකිවයුත්තන් කවුදැයි හඳුනාගෙන,එයාලට එරෙහිව ගත යුතු පියවර වාර්තාවක් මගින් ජනාධිපතිවරයාට යෝජනා කරන්න පුළුවන්.
දඬුවම් ක්‍රියාත්මක කිරීම කොමිසම වරදකරුවෙකු කළ පමණින් දඬුවම් ලැබෙන්නේ නෑ.කොමිසන් වාර්තාව නීතිපතිවරයාට යොමු කරන්න ඕනි.ඊට පස්සේ නීතිපතිවරයා විසින් සාමාන්‍ය අධිකරණයක (මහාධිකරණය වැනි) නඩු පවරා,එම අධිකරණය විසින් පුද්ගලයා වරදකරු කළහොත් පමණක් සිරදඬුවම් හෝ දඩ නියම කරන්න පුළුවන්.
පූර්ණ බලැති ජනාධිපති කොමිසමට (1978 පනත) සාමාන්‍ය කොමිසමකට වඩා ප්‍රබල වන්නේ එතන තියන ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ බලය හින්දයි.
යම් පුද්ගලයෙකු "අනිසි ලෙස බලය භාවිතා කර ඇති බව" හෝ "දූෂණයක් සිදු කර ඇති බව" මෙම කොමිසම තීරණය කළහොත්, ඔහුගේ ප්‍රජා අයිතිය (Civic Rights) අහෝසි කරන ලෙස ඔවුන්ට නිර්දේශ කරන්න පුළුවන්.
දඬුවම් ක්‍රියාත්මක කිරීමේදී මේ නිර්දේශය ක්‍රියාත්මක කිරීමට අධිකරණයට යා යුතු නෑ. ජනාධිපතිවරයා විසින් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් එය සම්මත වූ සැණින් ඒ පුද්ගලයාගේ ප්‍රජා අයිතිය අහෝසි වෙනවා.එතැන් පටන් අදාල පුද්ගලයාට ඡන්දය දීමේ හා මැතිවරණවලට ඉදිරිපත් වීමේ අයිතිය අහිමි වෙනවා. එයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නම් වහාම අසුනත් අහිමි වෙනවා.සාමාන්‍යයෙන් වසර 7ක් දක්වා කාලයකට දේශපාලනයෙන් ඉවත්වෙන්න සිද්ධවෙනවා.
මෙතනදී සැලකිය යුතු කරුණක් වන්නේ, කොමිසමකින් වැරදිකරු වූ පමණින්ම පුද්ගලයෙකු සිරගෙට කෙලින්ම යැවීමේ ප්‍රතිපාදන ලංකාවේ නීතියේ නෑ ඒකට අනිවාර්යයෙන්ම නීතිපතිවරයා හරහා මහාධිකරණයේ නඩුවක් විභාග කරන්න ඕනි.කොමිසමේ සාක්ෂි ඒ නඩුවට සහායක් විදිහට භාවිතා කරන්න පුළුවන්.
අනුර පත් කරලා තියෙන කොමිසම ගැන දැන් ඔයාලට අදහසක් ඇති.
Lanka Newsweek © 2026